විශ්වාභිනන්දන කලාකරු උපහාර උළෙල – 2022

බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ස්වකීය ප්‍රතිභා ප්‍රභාව තුළින් ශිල්ප කලාවේ නිම් වලලු පුළුල් කොට සුවහසක්  ජනී ජනයා නිහඬව සන්තර්පනය කළද ඒ සඳහා ජාතික මට්ටමේ ඇගයීමකට පාත්‍ර නොවු නමුදු ශිල්ප කලා හැකියා ප්‍රකට කළ, බස්නාහිර පළාත් ගම් දනව් සිසාරා විසීරී සිටින කුසලතා පුර්ණ කලාකරුවන් දිරිගන්වනු වස් රාජ්‍ය මට්ටමේ ඇගයීමට ලක් කිරීමේ අරමුණින් “විශ්වාභිනන්දන  කලාකරු උපහාර උළෙල 2022″ මෙම වර්ෂයේද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ සඳහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් නාම යෝජනා ලබා ගැනීමට අදහස් කර ඇති අතර, ඒ සඳහා පහත සඳහන් කලා ක්ෂේත්‍ර තෝරාගෙන ඇත.

01.) සංගීත (අධ්‍යක්ෂණය/ තනු නිර්මාණය), ගායනය හා වාදනය

02.) නර්තනය හා බෙර වාදනය

03.) චිත්‍ර, මූර්ති, කැටයම්, ගොක් කලා හා වෙස් මුහුණු

04.) ශාන්ති කර්ම, බලි තොවිල් හා අංගම්පොර

05.) හිටිවන කවි හා බයිලා කලාව

06.) වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව (රංගනය, අධ්‍යක්ෂණය, රංග වින්‍යාසය, පිටපත්     රචනය, සංස්කරණය, කැමරාකරණය, ආලෝකකරණය ආදිය)

07.) සාහිත්‍ය ලේඛන කලාව, ගී පද රචනය හා ජන මාධ්‍ය

08.) ඡායාරූපකරණය

09.) නිවේදනය හා හඩ කැවීම

10.) වේදිකා පසුතල නිර්මාණ, ඇඳුම් රංග වස්ත්‍ර හා මෝස්තර නිර්මාණ

11.) සුවිශේෂී කලා ක්ෂේත්‍ර (රූකඩ කලාව, මැජික් කලාව, බතික් කලාව,  ඩිජිටල් ආදී නව තාක්ෂණ කලාවන් වැනි )

 

ඒ අනුව මේ සමඟ අමුණා ඇති අයදුම්පත් මඟින් එක් එක් කලා ක්ෂේත්‍රයන්ගෙන් නාම යෝජනා ඔබ කොට්ඨාශයෙන් උපරිමය 05 කට යටත්ව 2022 අප්‍රේල් 30 දිනට පෙර ඔබගේ නිර්දේශය සහිතව මෙම අමාත්‍යාංශය වෙත ලැබීමට සලස්වන මෙන් කාරුණිකව දන්වමි.

ඉහත සියලුම ක්ෂේත්‍රයන්ගෙන් ඒ ඒ කලා ශිල්පියා අදාළ ක්ෂේත්‍රයන්ගේ සිදු කරන ලද  කාර්ය භාරය තහවුරු කිරීමට ඉදිරිපත් කළ හැකි තොරතුරු හා මුලාශ්‍ර බස්නාහිර පළාත් සංස්කෘතික නිලධාරී විසින් සහතික කර අප වෙත එවිය යුතුය.

(සහතික,ග්‍රන්ථ,ඡායාරූප,යන ආදිය)

තවද එම නාම යෝජනා එවීමේදී පහත සඳහන් නිර්ණායකද සැලකිල්ලට ගන්නා මෙන් වැඩි දුරටත් දන්වමි.

  • සෑම අයදුම් කරුවෙකුම මේ වන විට බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචි කරුවෙකු විය යුතුය.
  • මීට පෙර වර්ෂ වලදී බස්නාහිර පළාත් විශ්වාභිනන්දන සම්මානයෙන් පිදුම් නොලද අයෙකු විය යුතුයි.
  • ‍එක් කලාකරුවෙකු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නේ නම් එක් එක් ක්ෂේත්‍රයට වෙන වෙන්ව අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.
  • විනිශ්චය මණ්ඩලය විසින් විශ්වාභිනන්දන සම්මානය පිරිනැමීමට සුදුසු කලාකරුවෙකු වශයෙන් තෝරාගත හොත් මුද්‍රණය කිරීමට අපේක්ෂිත සමරු කලාපයට ඇතුළත් කිරීම සඳහා කලාකරුවා පිළිබඳ විස්තරයක් A4 පිටු ½ක සඳහන් කර අයදුම්පත සමඟ අමුණා එවිය යුතු ය.

 

 

සිරිසෝම ලොකුවිතාන,

ලේකම්,

අධ්‍යාපන හා සංස්කෘතික ක්‍රිඩා කටයුතු අමාත්‍යාංශය (බ.ප.)

 

 

All Rights Reserved. © 2017 Education Ministry (W. P.) - Last Modified On Feb 24, 2022 @ 8:41 am – Designed By ITRDA